අරගලය කියවාගැනීම

බන්දුල රණතුංග

ගෝඨාගොගම මේ දිනවල සිදුකෙරෙන අරගලය එක් එක් අය එක් එක් විදිහට නිර්වචනය කරනවා. ඒක ඒ ඒ අයගේ අයිතිය. තව කෙනෙක් කියාවි නෑ ඒක වැරදියි කියල. ඒක එයාගේ අයිතිය.
මේ මගේ කිවීම:
ගෝ ගෝඨා කීවහම ඒ කියන්නේ ගෝඨාබයට යන්න කියන එක විතරද? එහෙම නැත්නම් රාජපක්ෂ පවුලටම යන්න කියන එකද? එහෙමත් නැත්නම් 225ටම යන්න කියන එකද?
මෙම අරගලය ගැන කියවෙන අනෙක් කාරනය තමා අරගලයට විවෘත නායකත්වයක් නෑ කියන එක. තනි පක්ෂයක හෝ පක්ෂ කිහිපයක එකතුවකින් නිර්මාණය නොවුනු එකක් බව.
තවත් විශේෂත්වයක් තමා මේ අරගලය තරුණයන්ගේ අරගලයක් බව පැහැදිලි වීම.
එසේම අරගල කරුවන්ගෙන් බහුතරය නාගරික හා අර්ධනාගරික සමාජය නියෝජනය කිරීම.
තවත් විශේෂතා තිබුණත් පුධාන වශයෙන්ම මේ සාධක මත පදනම්ව මේ අරගලය කියවා ගැනීමට මම තැමතියි. නාගරික හා අර්ධනාගරික තරුණ කොටස් පැහැදිලි තනි නායකත්වයකින් තොරව එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන්ම කරන අරගලයක්.
අරගලයක මුහුණවරින් නොවුනත් නාගරික හා අර්ධනාගරික තරුණ කොටස් පැහැදිලිව පෙනෙන නායකත්වයකින් තොරව එකම අරමුණක් වෙනුවෙන් ගොනු වුණ පළමු අවස්ථාව නොවෙයි මේ. ගංවතුර, නාය යෑම් වැනි හදිසි ආපදා තත්ත්ව වලදී විධිමත් ආයතන කැහැපොට ගසමින් සිටිද්දී ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී කළ යුතු දේ කිරීම පුරුද්දක් මෑතකාලීන සමාජයේ ඇතිවෙලා තිබුණා. ඒත් මාධ්‍ය ආයතන, විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය චැනල් විසින් ඒවා හයිජැක් කරපු නිසා මේ තරුණ ක්‍රියාකාරිත්වය හොඳින් විද්‍යමාන වුණේ නෑ. ඒත් මෙම අරගලයේ එළිපටම තියෙන දේශපාලනික ස්වරූපය නිසා මාධ්‍ය ආයතනවලට හොරගල් ඇහිලීමේ මුහුණුවරකට යන්න සිද්ධ වුණා.
අසාර්ථක වෙයි කියන අස්ථානය හේතුවෙන් දේශපාලන පක්ෂත් උප්පැන්න දීමේ මැලිකමක් මුලදී දැක්වූවා.
මේ හේතු නිසා අරගලයේ සැබෑ අයිතිකාරයෝ කවුද කියල විචාරශීලීව බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙන්න ගත්තා.
ඒ අතරම සන්නස්ගල, පැතුම් කර්නර්, සේපාල්, සුදන්ත, රසික, වගේ බාප්පා පුංචි අම්මලා විතරක් නෙමේ ආයම්මලාත් සංසර්ගයට තමන්ගේ දායකත්වය වහෙන් ඔරෝ කියන්න පටන් ගත්තා. සමාජ මතවාද ගොඩ නැගීමේ කාර්යයේ දැවැන්ත දායකත්වය් මෙවැනි සමාජමාධ්‍යජාල ක්‍රියාධරයින් ඉටුකළ බව අමතක නොකළ යුතු සත්‍යයක්. ඒත් මේ අරගලය අර මම කියපු කණ්ඩායම් අතර ස්වේච්ඡායෙන් ඇතිවෙලා ක්‍රමිකව වර්ධනය වුණු තත්වයක් විදිහට පිළිගැනීමට මම වඩාත් කැමතියි.
වැදගත්ම කාරණය, මේ අරගලය කුමක් සඳහාද? ගෝඨා යවන්නද? රාජපක්ෂ පවුල යවන්නද? 225ම යවන්නද? කියන එක.
ඒකට පිළිතුර තියෙනවා මේ අරගලයට විරෝධී ආකල්ප දරන කණ්ඩායම් විසින් මතු කරන පොදු කාරනය වන “හරි, ගෝඨා ගියා කියමුකෝ, ඊළඟට මොකක්ද වෙන්නේ” කියන ප්‍රකාශය තුළ.
(මෙම) අරගල විරෝධී කණ්ඩායම හොයනවා වගේම ගෝඨාගේ නික්මයාමෙන් හෝ ආණ්ඩුව ඉවත් කිරීමෙන් හෝ ඇතිවන හිදැස කා වෙනුවෙන්ද කියන කාරණය ඒකට පිළිතුරු දෙනවා. පවතින නෛතික සංදර්භය තුළ යමෙකු ඒ හිස්තැන පුරවාවි. එහෙත් මේ අරගලය එක් අයෙක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් ඉන්නා කණ්ඩායම එළවීමේ අරගලයක් නොවේ.
මේ අරගලය, තමන්ට තවදුරටත් දරා ගැනීමට නොහැකි පීඩනයක් ඉවත් කර ගැනීම සඳහා කරන අරගලයක්. දේශපාලනය උන්ගේ දෙයක්. අපි හම්බ කරගෙන අපි කනවා කියල හිතාගෙන හිටිය නාගරික හා අර්ධනාගරික සමාජයට දරාගන්න බැරි තරමට වැඩේ ඔද්දල් වෙනකොට ඊට එරෙහිව නැගෙන අරගලයක්. ඒක තේරුම් ගන්න තියෙන තව සාධකයක් තමා, ඇති වෙලා ටිකකින් යටපත් වෙලා ගිය “ඊළඟ රැල්ල දූෂිත හා කුසීත රාජ්‍ය සේවයට එරෙහව” ගොඩනැගුන සටන් පාඨය.
තමන් දියසෙන් කුමාරයා කියල හිතාගෙන ඉන්න සමහරක්, මේ තමන් වෙනවෙන් නිර්මාණයවන ඔටුන්නක් කියල හිතාගෙන කරන පොඩි පොඩි රඟපෑම් තිබුණට මේ අරගලය කාටවත් ඔටුනු පළඳවන්නට කරන අරගලක් නෙමේ.
මේ ඉල්ලන්නේ ආර්ථික නිදහස. ඒ කියන්නේ තමන්ගේ හැකියාවෙන් අද දවසේ හම්බකරගත්ත දේ හෙට දවසේ තමන් කැමති දේකට වියදම් කිරීමේ ආර්ථික නිදහස.
මේ ඉල්ලන්නේ සමාජ සාධාරනත්වය. තනතුරකට පත්වීම නිසා පමණක්ම නම්-ගම්-ආමන්ත්‍රණ වෙනස් වෙලා ඔලුවට උඩින් හත්ගව්වක් උඩ යන දේශපාලඥයින්ට හා නිලධාරින්ටම ගිය රටක් වෙනුවට ඕනෑම කෙනෙක්ට මුල් නමෙන් ආමන්ත්‍රනය කරන්න නිදහස තියෙන, එකම බාර් එකේ එකට වාඩි වෙලා බියර් එකක් ගහන්න තරම් නිහතමානී සරල මිණිස්සු ඉන්න, සුදුස්සාට සුදුසු තැන නිරායාසයෙන් හිමිවෙන සමාජ සාධාරනත්වය මේ ඉල්ලන්නේ.
අරගලයෙන් ඇති කරන හිස්තැන කවුරු පිරෙව්වත් ඒ ගොබිලත් තේරුම් ගන්න ඔනේ මේ පිපෙන්නේ හවසට පරවෙන බිම්මල් නෙමේ කියල.
එතකොට ඇයි මේ අරගලය නාගරික හා අර්ධනාගරික තරුණයින් අතට ලඝු උ⁣ණේ. කෝ ග්‍රාමීය තරුණයෝ? කෝ නාගරික හෝ ග්‍රාමීය වැඩිහිටියෝ?
ඒ දෙගොල්ලම විවිධාකාර විලංඟුවලින් බැඳල තියා ගන්න මේ අරගලයේ චූදිතයින් සමත් වුණා.
එකක් ආගමික විලංඟුව. “අපිත් ආසයි ඒ බෙිබිලා පදින ඒවා පදින්න. ඒත් පූරුවේ කරපු පව්-පිංවල තරමට තමා ඕවා ලැබෙන්නේ. ඒක නිසා උන් එහෙම විඳිනවා අපි මෙහෙම විඳවනවා. සංසාරෙන් එගොඩ වෙන අරගලය තමා අපි කරන්න ඕනේ.” පූජ්‍ය-පූජක අනුග්‍රහයෙන් ඒ විලංගුව වැඩිහිටියන්ට සහ ග්‍රාමීය පුජාවට දා ගත්තාට ඉංග්‍රීසි තේරෙන අන්තර්ජලය සාක්කුවේ දාගෙන ඉන්න නාගරික තරුණයෝ ඒ විලංඟුවලට ආණ්ඩු-මට්ටු උනේ නෑ.
දෙවෙනි විලංඟුව ජාතිකත්ය. නැත්නම් මහ ජාතිය නියෝජනය කිරීම. “වේලක් ඇර වේලක් කාල හරි මේ දිනා ගත්ත ජාතික නිදහස රැක ගන්න ඕනෙ. බඩ වියත රැක ගන්න අරගල කරන්න කියල අපිව පාරට ගේන්න හදන්නේ විජාතික බලවේග. ඒවාට අහුනොවී අපි මේ නායකයෝ රැකගන්න ඕනේ.” ආයෙත් පූජ්‍ය පක්ෂයේ සහ ජාති(ක)වාදී සට්ටැම්ඹිරාළලාගේ ආශිර්වාදයෙන් ඒ විලංඟුවත් බෙල්ලටම තද කරලා තියෙන්නේ.
ඉංග්‍රීසි කතා කරන, වෘත්තීයමය වශයෙන් විවිධ ජාතීන් සමග සමීප ඇසුරන් තියෙන නාගරික හා අර්ධනාගරික තරුණයන්ට අන්‍යජාතික සහකම්පනය දැනෙන හේතුයෙන් ජාතිවාදී විලංඟුව වලංඟු උනේ නෑ.
නිල හා නොනිල වශයෙන් වෘත්තීමය ලෙස කඩේ යන කිහිප දෙනෙකුට ඇරෙන්න නාගරික හා අර්ධනාගරික තරුණයින්ට මේ තත්වය සංවේදනය වෙන්නේ එකම මට්ටමට. මේ තනි අරගලයක් නොවේ. නොනවතින රැල්ලක්. රාජ්‍ය නායකත්වය බලාපොරොත්තු වෙන සෑම දෙනෙක්ම තේරුම් ගත යුතු තිත්ත ඇත්ත ඒකයි.
ඒ එක්කම මේ අරගලයට සහාය දැක්වීමට යම් පක්ෂයක් කැමැත්ත දක්වනවානම් කළ හැකි එකම උදව්ව තමා වැඩිහිටි පරම්පරාව සහ ග්‍රාමීය තරුණ ප්‍රජාව දැනුවත් කරල ඔවුන්ගේ දායකත්වය අරගලයට ලබා දීම. එහෙම නැතුව අරගලය බැක්ඩ්‍රෝප් එකට දාල වොයිස්කට් දෙන එකවත් කාර්ඩර්ලා අරගලය අස්සට රිංගවන එකවත් අරගල භූමිය වෙල්කම් කරන එකක් නෑ. මේ පරම්පරාව ඒතරමටම වෙනස්. මේ උන්ගේ කාලෙ. අනාගතය නෙමේ වර්මානයම උන්ට දෙමු.