සින්දු කියන අරගලය

ඒ අයි ඇම්

“අපි දහස් ගණනින් ගෙනාවා” , “අපි ගෝල්ෆේස් එක වැහුවා”, “නුගේගොඩ පිරුණා”, “හිතාගන්න බැරි සෙනගක්”, “ප්‍රචණ්ඩ ක්‍රියා”

මේ වගේ වචන අපිට ගොඩක් අහලා පුරුදුයි. අපට නිදහස ලැබෙන්න කලිනුත් මේවා තිබ්බා නිදහසින් පස්සේ මෑත අතීතය වෙනකම්ම අපි අහපු වචන මේ.

හැබැයි “සින්දු කියන අරගලයක්” ලංකාවේ මං නං මීට කලින් අහලා නෑ.

මේක සින්දු කියන අරගලයක්, මේක අලුත් පරපුරේ මිනිස්සු ෆන් එකක් ගන්න කරපු දෙයක්, මේගොල්ලන්ට කිසි තේරුමක් නෑ, මේගොල්ලෝ දන්නේ නෑ ඇත්ත තත්ත්වෙ… මෙන්න මෙහෙම කතා ඔය සින්දු කියන අරගලයට සමහරක් (රුපියලට හෝ මුලාවට අහු වුණු)මිනිස්සු කියන්න ගත්තා, එතනින් නවතින්නේ නැතුව, කූඩාරම්, රෑ පහන් කිරීම්, තාරුණ්‍ය ගැන කියමින්, තවත් සටහනක ලියන්නවත් සුදුසු නැති තුට්ටු දෙකේ කතා ඕනෑ තරම්.

කමක් නෑ ! අපි විශ්වාස කරන්නම් ඒ ඔබ කියන්නේ ඔබේ හෘද සාක්ෂියට එකඟව කියලා. ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ප්‍රශ්න කරන්නෑ.
හැබැයි ඔබේ දැන ගැනීම පිණිස අපි අපේ කටිනුත් මේ සින්දු කියන අරගලය ගැන වචනයක් කියන්න කැමතියි.

මේක අරගලයක්, මෙහෙ එන ගොඩක් මිනිස්සු එකිනෙකා අඳුරන්නේ නෑ, මේක පක්ෂයකින්වත්, ජාතියකින්වත්, ආගමකින්වත්, පාට කරපු අරගලයක් නෙමෙයි, මේක මිනිස්සුන්ගෙ අරගලයක්, පොදු සාධකයක් වෙනුවෙන් දශක හතකින් විතර පස්සෙ ශ්‍රී ලාංකිකයින් එක් කරපු අරගලයක්.
මෙහි ප්‍රචණ්ඩත්වයක් ඔබට බලාගන්න බැරි වෙයි, මෙහෙ එන මිනිස්සු කඩවල් කුඩු කරගෙන, පොදු දේපළ හානි කරගෙන, මිනිසුන්ට හිරිහැර කරගෙන ඉල්ලීම් ලබා ගන්න ආපු අය නෙමෙයි. අපිට කවුරුවත්, කාලකුයි බුරියානි පැකට් එකකුයි රුපියල් පන්දහකුයි දීලා කිව්වේ නෑ, ගිහින් කෑ ගහපන් කඩවල් කඩපන් කියලා.

මේ මිනිස්සුන්ගෙ අරගලයට එන ගොඩක් අය එන්නේ, අපිට පොදු වූ ඒ ඉල්ලීම් ප්‍රකාශ කරන්න පමණක් නෙමෙයි, දැන් තියන තත්ත්වයත් එක්ක තමන්ට තියන පීඩනය බෝඩ් එකක් පෙන්නලා හරි, සටන් පාඨයක් කියලා කෑ…ගහලා හරි පොඩ්ඩක් හරි අඩු කරගන්න. අපිට තව මිනිහෙක්ට ගහලා, අපේ බදු මුදලින්ම හැදිච්ච පොදු දේපළ වලට හානි කරලා, රටේ අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්න කිසිම උවමනාවක් නෑ. අපිට මෙහෙ එන්න හැකියාව තිබුණට අපි දන්නවා අපේ සහෝදර සමහර ජනතාවට එහෙමවත් කරන්න බැහැයි කියල, ඔවුන්ගේ දවස ගෙවෙන්නේ තෙල්, ගෑස් පෝලිම් වල, නැත්තං ඉතුරු වෙන ටික වේලාවෙන් හරි කීයක් හරි වැඩිපුර හම්බකරගෙන ඇතිවෙලා තියෙන ආර්ථික තත්වයට මොකක් හරි ගැටයක් ගහගන්න.

මේ සින්දු කියන අරගලය අපේ රටේ ඉන්න දේශපාලකයින්ට, සමහරක් ජනතාවට, ලොකුවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමා මේ සින්දු කියන අරගලය ඒ ගොල්ලන්ටත් අලුත් දෙයක් වීම, මේක හුදෙක්ම මිනිස්සුන්ගෙ අරගලයක් වීම.
හැබැයි මෙයයි සැබෑ අරගලය

අපි එනවා, සටන් පාඨ පෙන්නමින් සටන් පාඨ කියමින් අපේ ඉල්ලීම් වලට කන් දෙන තුරු අපි තවදුරටත් මෙහෙ ඉන්නවා, හැබැයි ඒ අතරේ මෙහෙ ඉන්නේ මිනිස්සු කියන එක අපි අමතක කරන්නේ නැහැ,
ඒ නිසාම වෙන්න ඇති මේකට සින්දු කියන අරගලයක් කියනවා ඇත්තේ.

ඒ අයි ඇම්