මාගේ දරුවා නැවතත් දේශාභිමානී ගීත සාඩම්බරයෙන් ගයනු ඇත!

අමිල

පිටරටක ජීවත්වන අප රෑ කෑම ගන්නා විට ලංකාවේ රාත්‍රී ප්‍රවුත්ති බැලීමට පුරුදුවි සිටිමු. පහුගිය මාස කිහිපය තුල ලංකාවේ සිදුවූ හා සිදුවෙමින් පවතිනා දේත්, උත්තරීතර පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කරගනිමින් විකාර නටන්නාවූ නාකි (එහෙත් හිසේ එකදු කෙස් ගසක් සුදු නොවූ) දේශප්‍රේමී කියාගන්නා වූ හොරුන් දෙසත්, ඔවුන් විසින් ඇතිකරන ලද මෙම අර්බුදයෙන් පිඩිත ජනතාව දෙසත් ඉමහත් වේදනාවෙන් අප බලා සිටියෙමු. පිටරටක සිටියත්, අපගේ 8 හැවරදි දරුවා හට උතුම් ගුණධර්ම කියාදෙමින්, අපගේ අභිමානවත් ඉතිහාසයත් ශ්‍රී ලාංකේය අභිමානයත් ඔහු තුල ඇතිකරලීමට මමත් මගේ බිරිඳත් නිතර උත්සහ කරන්නෙමු. එහෙත් සති කිහිපයට පෙර ප්‍රවුත්ති බලමින් සිටියදී ඔහු පැවසූ දෙයින් අප නිරුත්තර වීමු.

ඔහු අපට පැවසුවේ “අම්මේ මට ආයෙමත් මේ රට මගේ රට සින්දුව කියන්න කියන්න එපා!” කියාය. හේතුව විමසීමේදී ඔහු පැවසුවේ “ඒ සින්දුවේ තියෙන කිසිම දෙයක් ලංකාවේ නෑනේ.. මිනිස්ටර් අංකල්ලා හරිම නරකයි මිනිස්සු හරියට පෝලිමේ දුක් විඳිනවා, එයාලා අඬනවා TV එකේ පෙන්නනවා. මේ සින්දුව කියද්දී මිනිස්සු මම මෝඩයෙක් කියල හිතයි” කියලයි.

එහෙත් මේ අරගලයට පින්සිදු වන්නට අප කොතරම් එඩිතර, උගත්, අවිහිංසාවාදී ජාතියක්ද යන්න හා අසාධාරණයට එරෙහිව අපි නැගිසිටිය යුතු බවත්, එකාවන්ව එසේ නැගිසිටින්නේ කෙසේද යන්නත් ඔහුට කියා දෙන්නට අපහට හැකිවිණි. අම්මේ, තාත්තේ, අක්කේ අය්යේ, නංගියේ, මල්ලියේ අපි ඔබ සමඟ නොසිටියත් සිතින් ඔබ සමඟයි! අපේ මේ අරගලය, ඔබේ දහදිය කඳුළු අපගේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. මේ වෙහෙස හුදෙක් වෙහෙසක් නොව මාගේ දරුවා වැනි ලක්ෂ ගණනක් තවත් දරුවන්ටත් අනාගතයේ ඉපදෙන දරුවන්ටත් අසාධාරණයට එරෙහිව නැගී සිටීමට ශක්තියත්, ධෛරයත්, මඟ පෙන්වීමත් ලබා දෙනු ඇත! මේ පාදඩ නාකි දේශපාළුවන් දකින්නේ එදා මෙදා තුර නොදැක්කා වූ නොඇසූ ජන අරගලයකි. මේ උත්සාහය අවිහිංසාව පදනම්ව ඉදිරියට යනතාක් අපගේ මාතෘ භූමියට ආදරය කරන්නාවූ පෙනෙන නොපෙනෙන සියළු බලවේග වල ආශීර්වාදය අපහට ලැබෙනු ඇත. මගේ දරුවා ඇතුළු ලක්ෂ ගණනක් තවත් දරුවන් නැවතත් දේශාභිමානි ගීත ඉතා සාඩම්බරයෙන්, දෙශාභිමානිව ගයනු ඇත!

අරගලයට ජය!