ප්‍රේමණීය අරගල බිමේ දවසක් ♥️

Hiruni Dias

DA4335ED-1DE9-49B7-A6D5-ED3DF80B6332.jpeg

ප්‍රේමණීය අරගල බිමේ දවසක් ♥️

මම අද උදේ අරගලයේ ගම්මානයට යනකොට එතන ටෙන්ට් එකක් යට අයියලා හතර පස්දෙනෙක් කෝපි හදලා, කෝපි බෙදනවා. මම ඒ මිනිස්සුන්ව මීට කලින් කවදාවත් දැකලා නෑ. ෆේස්බුක් එකෙන්වත් නොදැක්ක ඒ කට්ටිය මාව දැක්කා විතරයි, “ආහ් නංගි එන්න කෝපි එකක් බොන්න.. කා එක්කද ආවෙ..? තනියමද ආවෙ.. යකෝ උඹ මරුනෙ..” කියලා අහලා රසම රස කෝපි එකක් දුන්නා. බෝතල් කේස් එකපිට තියලා මට පුංචි පුටුවකුත් හදලා දුන්නා.

ඊයේ රෑ මොකද වුණේ, මොකද කරේ යනාදී වශයෙන් ආගිය විස්තර එහෙම මං එක්ක කිව්වා. ප්‍රේමණීය අරගලයට මිනිස්සු එව්ව ආදරේ පිරුණ කෑම බීම ගොඩක් එයාලා ගාව තවත් තිබුණා. ඒ නිසා එයාලා මම ඇතුළු තවත් ගෑනු ළමයි කීපදෙනෙක් එකතු කරන් ඒ ඔක්කොම කෑම අතිරික්තය ගිහින් ගෝල්ෆේස් එකේ අව්වෙ පිච්චි පිච්චි ඉන්න නේවි එකේ අයියලාට බෙදලා දුන්නා. ඒ මිනිස්සුන්ගෙ මූණුවල පිපුණ හිනාමල් නම් දකින්න වටිනවා.

එතනට ඇවිල්ලා හිටියා තමන්ගේම වියදමින් ලොකු බොක්ස් බෝඩ්ස් තොගයකුයි, ඇක්‍රිලික් පේන්ට්ස් ටියුබ් එකකුයි, පින්සලුයි ගෙනාව අපූරු සහෝදරියක්. එයා තරුණ ළමයි එකතු කරගෙන ලස්සන Slogan ටිකක් ලියන්න පටන්ගත්තා. එයා වටේට කට්ටිය එකතු වුණා. ටික වෙලාවක් යද්දි බෝඩ් ඉවර වුණා.

ඉස්‍රායලයේ ඉන්න අපේම මිනිස්සු සල්ලි එවලා තිබුණා අරගලයේ ගම්මානයට මදිපාඩු තියන දේවල් බලලා ඒ කටයුතු ටික කරගන්න. අපි ලිබර්ටි ප්ලාසා එකට ගිහිල්ලා බොක්ස් බෝඩ්, පින්සල් සහ තීන්ත ගත්තා. ඒ ටික අරන් ආපු ත්‍රීවිල් එකේ මහත්මයා අපි ගෝටාගෝගමින් බහිනකොට කිව්වා “සල්ලි එපා, අපි හැමෝම වෙනුවෙන්නෙ මේක කරන්නෙ” කියලා.

වයස් භේදයක්, පන්ති භේදයක්, ආගම් භේදයක් නැතුව මිනිස්සු එකතු වෙලා බෝඩ් දෙකට ඉරමින්, ඒවල ලියමින්, පින්සල් බෙදාහදා ගනිමින්, ලිව්ව බෝඩ් එකිනෙකාට දෙමින් එකමුතුව වැඩ කළා. මම පන්ති, ආගම්, වයස් කියලා විශේෂයෙන් සඳහන් කරේ – ඇත්තටම මම ඒ ඒ විදියෙ මිනිස්සු පුදුමාකාර ආදරේකින්, දුවේ පුතේ, අයියේ අක්කේ, නැන්දේ මාමේ, නංගියේ මල්ලියේ කියලා සහයෝගයෙන් එකමුතුව ඉන්නවා දැක්ක නිසා. ඒක හරියට අර අපි ටීවි එකේ දකින “නිදහස් දවසෙ ඇඩ් එකක්” වගේ.

මේ වැඩ වෙන අස්සෙන් තව අපූරු දෙයක් වෙනවා. ඒ තමයි මෙතනදි අහන්න දකින්න විඳින්න ලැබෙන අතුරු සිදුවීම්. පරණ මිනිස්සුන්ගෙ කැම්පස් කතා; ඒ මිනිස්සු ඒ කාලෙ කරපු අරගල; ඒ අරගලවල හැඩය මේ අරගලයට වඩා මොන තරම් වෙනස්ද කියන එක; පරණ මිනිස්සු අලුත් දරුවන්ට කියලා දෙන එයාලගෙ අරගලවලින් ඉගෙනගත්ත පාඩම්. මේ ටික ඇරුණම අපිට මුණගැහෙනවා දේශපාලනය ගැන අපි නොදන්න දේවල් ගැන සුන්දර සාකච්ඡා; දේශපාලනය ගැන අපි නොදන්න දේවල්; දේශපාලනික ලෝකය අපේ ඇස් ඉස්සරහට පේනවට වඩා කොච්චර ගැඹුරුද කියලා මිනිස්සු එකිනෙකා එක්ක කරන සංවාද.

ඉස්සර කාලෙ දේශපාලන පක්ෂවලට වැඩ කරපු මිනිස්සු ඒ අයගෙ අත්දැකීම් ගැන, සමහර දේශපාලඥයො ගැන අපි නොදන්න පොඩි පොඩි කතා; දේශපාලන පක්ෂවල ඒ කාලෙ කතන්දර; දේශපාලනය නිසා එයාලට මිස් වෙච්ච දේවල් ගැන; එයාලගෙ හිත් රිදුණ තැන් ගැන එතන අනිත් අය එක්ක බෙදා ගන්නවා..

අද මම එතනට ගියේ තනියෙන්. අද මම වැඩ කළේ මීට කලින් කවදාවත් දැකලා නැති මිනිස්සු එක්ක; අද මම තේ බිව්වෙ මීට කලින් කතාබහ කරලා නැති අයත් එක්ක; අද මම බෝඩ්ස් අනං මනං ගේන්න කඩේ ගියෙ පළවෙනි වතාවට දැක්ක මනුස්සයෙක් එක්ක; අද මම අකුරු ලිව්වෙ එතනදි මුණගැහුණ ෆේස්බුක් මිත්‍රයෙක් එක්ක; කොටින්ම අද මම හිනාවෙලා හිතේ සැහැල්ලුවෙන් දවස ගත කරේ මම මීට කලින් කවදාවත් දැකලා නැති මගේම රටේ ආදරණීය මිනිස්සු මහ ගොඩකට පිං සිද්ධ වෙන්න.

හවස් වෙද්දි මිනිස්සු ඉතාම විශාල ප්‍රමාණයක් එතන රොද බැඳලා හිටියා. ඒ මිනිස්සු සටන් පාඨ කියමින් ඝෝෂා කරනවා; උදේ කෝපි දුන්න තැන හවස දෙන තේ බොනවා; තැන තැන අල්ලාප සල්ලාපයේ යෙදෙනවා; දන්න කියන මිනිස්සු ඉන්නවද කියලා විපරම් කරනවා; අඳුරන මූණක් දැක්කාම මහ හඬින් කතා කරනවා; කෑ ගහනවා; වැළඳගන්නවා; ඉඹිනවා; හිනාවෙනවා; සෙල්ෆි ගන්නවා; බෝඩ් හොයාගෙන උද්ඝෝෂණය ඇහෙන මානයට දුවනවා; නැවත සටන් පාඨ කියනවා.

ඒ අව් අස්සෙන් එකපාරම ධාරානිපාත වර්ෂාවක් වහින්න ගත්තා මුළු කොළඹම හෝදගෙන. හැන්දෑ කලුවර වැටිලා නිසා තමන් ලඟ ඉන්න කෙනාව හරියට පේන්නෙත් නෑ පාරෙ. ඒත් මිනිස්සු කොහෙටවත් දුවලා හැංගුණේ නෑ. ඒ ආදරණීය මිනිස්සු තම තමන් ලඟ තියන කුඩ අරන් කඩි වගේ වේගෙන් ඉහළගත්තා; ලඟම ඉන්න දෙන්නා තුන්දෙනා හතර දෙනා ගාණෙ කුඩ යටට වුණා; මහ හඬින් “ගෝඨා ගෝඨා” කියලා ඇහෙන තරුණ සද්දෙට “ඔයා ෆේල්” කියලා සද්දෙට උත්තර බැන්දා; වැස්සෙ සද්දෙටවත් ඒ සද්දෙ යටපත් කරන්න බැරිවුණා.

මට අද ගෙදර එන්න වුණ නිසා රේන්කෝට් එකත් දාගෙන මම ගමෙන් එළියට බැස්සා. ඒ යනකොට කසුන්, අබ්දුර් දෙන්නම මට පරිස්සමෙන් යන්න කිව්වා. මගදි lightning mcqueen, ඒ කියන්නෙ අපේ අකුණු තිළිණ අයියව හම්බුණා. කතාබහ මැදින් මම ගෙදර යන්නෙ තනියෙන් කිව්වම, “නංගි මගදි මොකක්හරි ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යයෙන් කෝල් එකක් ගන්න.. පරිස්සමට යන්න එහෙනම්” කියලා කිව්වා. ට්‍රේන් එකේදිත් කසුන්ලා මැසේජ් දාලා, “දැන් කොහෙද..?” කියලා ඇහුවා. මගේ හිසකෙස්වලිනුත් එළියට පැනලා උතුරන තරම් ආදරේ මහ ගොඩක් තුරුළු කරගෙන මං කෝච්චියේ නැගලා ගෙදර ආවා.

ඉතිං මම ඒ කුරුටු ගෑවෙ මම සාක්ෂි දරන ප්‍රේමණීය අරගලයෙන් එක දවසක් ගැන. ඒ අරගලයේ කොහේ හරි තැනක කොන්ඩම් තිබුණාය; කුඩු තිබුණාය වගේ අමන කතාවක් කාගෙහරි අධෝමුඛයකින් පැවසෙනවා නම්,

ඒ අයට මට කියන්න තියෙන්නෙ,
“එහෙ තිබ්බෙ ආදරේ විතරයි,
ආදරේ විතරමයි” කියලා විතරයි.

2022.04.11

#GotaGoHome #GoHomeGota2022
#gohomerajapaksas #GiveOurStolenMoneyBack
#නොනිදනඅරගලය