POEM

NANAYAKKARA

ආ ගමන දුෂ්කරයි
අප විටෙක ඇද වැටුණා සැබැයි
එහෙත් නතරව එතැන
වැලපිය යුතු නෙවෙයි – අප යා යුතුයි
රළක් නම් මුහුදේ
නිදා නොඉඳියි වෙරළකට මුහුණ දෙයි
සඳත් රෑ මුදුනට ඇවිත්
තම නිම් වළල්ලෙන් සමු ගනියි
බලන් අර රණගොස නැගෙන තැන
ඒ ජීවිතේ පෙරමුණයි
ඉතින් සමුගන්නට කාලයයි
වහා අප එහි යා යුතුයි
ඇසක් තටු හකුළා ගුලි වෙමින්
අඬන්නට වාගේ හදයි
නමුත් සොහොයුර අපට අකැපැයි
ඔව් – කඳුළු සීතල වැඩියි
එළිය හඳුනන රෑ කුරුල්ලෙක්
උදෑසනකට හඬ ගසයි
මෙතෙක් තුඩ ගෑ තිත්ත පළවැල
හොට ඇරී බිම පතිත වෙයි
හෙට පිපෙන මල් අද රෑ ම
කට කොනින් හිනැහෙනවා පෙනෙයි
ඉවසන්න ඒවා පිපෙයි
දත් පෙනෙන්නේ තවමත් ටිකයි
හෙටත් අද වාගෙ නම් ඉතින්
අප කොහේ හෝ තැන තැන ඉඳියි
නමුත් ඒ ඇත්තක් නොවෙයි
අප මුණ ගැහෙයි – හෙට මුණ ගැහෙයි
කෙහේදී හරි නොවෙයි හෙට අප
එකම තැනක දි මුණ ගැසෙයි
• සමුගැනීම | වස්සානේ – රත්න ශ්‍රී විජේසිංහ