සාම ගීය

චනිර දුලංජය රණතුංග

640F8921-3A04-4EAC-BA05-8E27A2E337A8.jpeg

සාම ගීය

ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය පටන් ගන්නේ කවදාගෙන්ද? අපි සැවොම මුලාවට පත් කළ, අපෙන් වසන් කළ අතීතයක් අපේ ශීර්ෂාන්තයේ සිට පාදාබන්තය දක්වා ගමන් කරන මේ යක්ඛ ලේ තුළ ගැබ් වී ඇත.

වසර 2500කට එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන යැයි පුරසාරම් දොඩන අපට ඒ 2500න් එහාට එබිකම් කරන්නට අවසර නැතිද? මහාවංශය හා දීපවංශය වැනි ග්‍රන්ථ විසින් යටපත් කරනු ලැබූ මිහිරි අතීතයක් අපට ඇති බව නොඅනුමානය. රාවණා පුරාවෘතයද එවැනිය. මුලු ලොවක් පාලනය කළ යක්ඛ ලේ ඇති රාවණගේ පරපුරෙන් එන අප විජය රජුන්ට මුවාවී රාවණ රජුන්ගේ ඉතිහාසය මැරුවා නොවේද? අප විසින්ම විනාශ කරගත් අපේ රටේ ඉතිහාසය අපි නැවත සොයා යා යුතුමය. විජය කුවේණි ප්‍රේම වෘතාන්තය ශ්‍රී ලංකාවේ ඉතිහාසමය, සාංස්කෘතිකමය, දේශපාලනික පෙරළියක් සිදු කළේය. ඔවුහු අප රටේ නව පොතක් ලීවෝය. ඉන්දියානුවෝ අප රටේ නව පොතක් ලීවෝය. සිංහල අපේ කම අපට මඟ හැරුණු පළවෙනි දවස එදා විය.

එතැන් පටන් රජවරුන් 181ක් අප දේශය පාලනය කරන ලදී. විවිධ ආක්‍රමණ මධ්‍යයේ මීළඟට අප ඉතිහාසයේ පිටු රාශියක් වෙන් වන්නේ පර සුද්දන්ටය. ඔවුන් ගෙන ආ ගිනි වතුරට ඇබ්බැහි වූ අප රට පාලකයෝ නිතරඟයෙන් ම අපේ ඉතිහාස පොත ලියන්නට ඔවුන්ට පොත මෙන්ම පෑන ද ලබා දුන්නෝය.

ඉන් නිදහස ලැබී නැවතත් පෑනත් පොතත් අතට ගත්‍තද නිදහස වැඩි කල් බුක්ති විඳින්නට වේලුපිල්ලේ ප්‍රභාකරන් අපට ඉඩ දුන්නේ නැත. සයිනයිඩ් කරල බෙල්ලේ බැඳගත් ඔවුහු දෙමළ ඊළමක් වෙනුවෙන් සිහළ රටේ යුධ වැදුනෝය. ඔවුන්ට සයිනයිඩ් කරල රස විය. හැපුවෝය, මැරුණෝය. කොහෙන් ආවේද? කොහෙට යන්නේද? යැයි අසන්නටවත් වෙලාවක් තිබුණේ නැත. එම නිසා අපේ පොතේ ඔවුන්ට වෙන් වූ ඉඩ ඉතා කුඩා විය. තිස් වසරක සාපය තුන් වසරකින් නිම කරන්නට ප්‍රියාදර රණවිරුවන්ට හැකි විය. සාම මල් පිපෙන්නට විය.

දස වසරක විජයග්‍රාහී සැමරුම සමරන්නට ඔන්න මෙන්න තියා LTTE වැනි තවත් අකුරු හතරක් අප රටට පැමිණෙන්නේ අපේ පොතේ පිටු ඉල්ලන්නට ය. ත්‍රස්තවාදයක් යුද්ධයකින් නිම කළ ලොව පළමු සහ එකම රට මගේ මව් රට බවට ISISවරුන්ට අමතක වී ඇත. ඉතින් අපට සමාවෙන්න. අපේ පොතේ ඔබට දෙන්න පිටු නැත. මුලු රටම වෙසක් සැමරුවෝය. මුලු රටම කිතුණු දිව්‍ය පූජා නැරඹුවෝය. පල්ලියේ වෙසක් කූඩු, භක්ති ගීත විය. පන්සලේ දිව්‍ය පූජා පැවැත්විය. අපේ සාම ගීය ලොවම දකිනු ඇත.

පොතේ පසුවදන ලියන්නට දැන් කාලය පැමිණ ඇත. එදා පටන් අද දක්වා ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පිටු අලුත් කලේ අප රට පාලකයන්ය. එබැවින් මේ පොතේ අවසන් තිත තැබිය යුතුමය. අලුත් සාම ගීයක් අපි විසින්ම අරඹමු. එම සාමය ඉහළ ගෙදර ධනපතියාටත් පහළ ගෙදර නිර්ධනයාටත් එක සේ බෙදා දෙමු. අපි අලුත් හෙටක් තනමු.

හැඟුම – චනිර දුලංජය රණතුංග