පප්පනි නැගිටිව්!

Kasun Premadasa

1959 වසරේදී ප්‍රංශ ජාතික සිත්තරුන් දෙදෙනෙකු වූ රෙනේ ගොසිනි හා ඇල්බෙයා උඩසෝ පිලොට් නම් වූ චිත්‍ර කතා සඟරාවක අලුත්ම චිත්‍ර කතාවක් ආරම්භ කරන්නේ ඇස්ටරික්ස් යන නමිනි. මෙහි හරය ලෙස දිවෙන්නේ රෝමය විසින් ප්‍රංශය ආක්‍රමණය කල සමයේ මහා රෝම අධිරාජ්‍යට එරෙහිව ප්‍රබල වූ සටන් දියත් කල කුඩා ප්‍රංශ ගමක සිදු වූවා යයි සිතන, අඩු වැඩි වශයෙන් සත්‍ය වූ කතාවකි. එයම පසු කාලීනව සජීවිකරන කාටූන් කතා මාලාවක් ලෙස නිර්මාණය කෙරෙන අතර අනූව දසකයේ අග බාගයේ ප්‍රංශයෙන් ලංකාවට පැමිනෙන ඇස්ටරික්ස් මෙහිදී බෞතීස්ම ලබන්නේ සූර පප්පා ලෙසිනි.

ගෝල් දේසය නොහොත් පප්පා ගම නමින් හැඳින්වෙන ගමක ජීවත්වන පිරිසකගේ දෛනික ජීවන රටාව හුවා දක්වන කාටූනයේ ප්‍රධාන චරිතය වන්නේ ඇස්ටරික්ස් නොහොත් සූර පප්පායි. සූර පප්පා ඉතා කුඩා සිරුරක් හා සූර බුද්ධියක් හිමි අයෙක් වන අතර නිතරඟයෙන්ම ගෝල් දේසයේ වීරයා වන්නේද ඔහුයි. ඔබලික්ස් නොහොත් ජිම් පප්පා යෝධ සිරුරක් හා නිතර හිස් වුනු ආමාශයක් සහිතව හිඳන අතර සූර පප්පාගෙ සියලු වීර ක්‍රියා වල සටන් සගයා වන්නේ ජිම් පප්පායි. පප්පා ගම වැසියන්ගේ වෙදදුරු වන්නේ ඩෘයීඩ පූජකයකු වන ගෙටෆෙක්ස් නොහොත් වෙද පප්පා වන අතර ඔහු කකාරවන මැජික් අරිශ්ටය පානය කරන්නන්ට සිය ශරීර ශක්තිය සිය ගුනයකින් වැඩි කර දෙන මායා බෙහෙතකි. අරිශ්ට බී සටනට බහින ගෝල් දේස පප්පන් රෝම සොල්දාදුවන් හා කොතරම් දක්ෂ ලෙස සටන් වදින්නේද කියතොත් රෝම රෙජිමේන්තුවක් එක පප්පෙකුට වැටෙන අනුපාතයට සටන් කලද රෝම අධිරජ සීසර්ට අත්වන්නේ අන්ත පරාජයන්ය.

කතාව මෙසේ උවද පප්පා ගමට යන අයෙකුට පෙනෙන්නේ ගමේ මණ්ඩලේ කචල් බවය. ගමේ ප්‍රධානියා වන ලොකු පප්පා බිරිඳටද අසීමිතව බිය වන අතර මේ හොඳින් සාමයෙන් කල් ගෙවන පප්පන්ට ලොකුම එකෙන් රණ්ඩුවක් ඇද ගන්නට ගතවන්නේ තප්පර කිහිපයකි. මේ පප්පන්ට ගෝරියක් දා ගන්නට අසීමාන්තික හේතු ඇති අතර ගෝරිය කාගේ වුවද ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ගමේ සියලු පප්පන් පප්පියන් නැ බෑ නොකියා ගහන්නටද ගුටිකන්නටද ඉදිරිපත් වෙති. ඒ කෙසේ උවද රෝම මයිලක් දුටුවද සියලු රණ්ඩු පසෙකලා එකා වන්ව පප්පා ගම වෙනුවෙන් සටනටද ඉදිරිපත් වෙති. ඒ වනාහී පප්පා ගම පප්පන්ය.

වර්තමානයවන විට පප්පා ගම ජීවමාන වන අතර ඔබට එය ඉන්දියන් සාගරය මධ්‍යයේ ශ්‍රී ලංකාව යන නමින් සොයාගත හැකි වනු ඇත. ගෝල් දේසයට සීසර් වාත වූයේ යම් සේද ලංකාවට ඊට එහා ඇණයක් බවට පත්වෙමින් ඇත්තේ රාජපක්ෂ සහෝදර සමාගමයි. ලාංකීය පප්පන් වර්තමානය වන විට ඉන්ධන, එල් පී ගෑස්, ආහාර, ඖෂධ හා තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් දරුණු ලෙස පීඩා විඳින අතර මෙතෙක් කල් කෙරූ ලෙස සිල්ලරට ජීවත් වීම කෙලවර කරමින් රජයට එරෙහිව විරෝධතා ආරම්භ කර ඇත. මෙතෙක් කල් මේ පප්පා ගමේද මණ්ඩලය කචල් වී තිබූ අතර ජාතිවාදී ප්‍රශ්න, ආගම්වාදී ප්‍රශ්න රටේ නැති ගොබ්බ ප්‍රශ්න අරභයා ගෝරි දාගත් ලාංකීය පප්පන් සියලු දෙනා ජනාධිපති පප්පා ගෙදර යැවීම අරමුණු කොට ගෙන එක්සත්ව ඇත. අරගල කාර පප්පන්ට ස්ත්‍රී පුරුෂ භාවයක් හෝ වයසක් අදාළ නැත. ලොකු කුඩා සියල්ලෝ අරගලයට සක්‍රීයව දායක වෙති. මේ වන විට සහභාගී වූ කුඩාම අරගල කරුවා දින දෙකක් පමණ වයස පොඩිත්තෙකි. වයසකම පප්පා සෙවීම නිරර්ථකය. හිටගෙන ඉන්නට පවා අපහසු අරගලකාර පප්පන් අරගල බිමේ ඕනෑ හැටි සොයාගත හැක. තවත් අරගල කාර පප්පන් පැමිණෙන්නේ සිය පවුල් පිටිනි. ලොකුවුන් කුඩාවුන් හැකි ලෙස සටන්පාට ලියූ පුවරු රැගෙන පැමිණෙමින් හිඳිති. සියල්ල සමාලෝචනය කල විට ඇත්තේ එකම දෙයකි. #GoHomeGota2022

විරෝධතා දක්වන පප්පන්ට ආගමක් ජාතියක් නැත. සිංහලද, දමිලද, මුස්ලිම්ද ඔවුන්ට ඇති වැඩක් නැත. සියලු ජාතීන් අරගල බිමෙහිය. කතෝලිකයින්, බෞද්ධයින්, මුස්ලිමුන්, හින්දූන් සියල්ලෝ අරගල බිමෙහිය. තැනෙක ඉටි පහන් දල්වමින් පියතුමෙකු සමග ගීතිකා ගයන කතෝලිකයින්ය. තවත් තැනෙක උපවාස අවසන් කරමින් දෙවියන් නමදින මුස්ලිමුන්ය. ඔවුන්ට අහාර පානාදිය සපයන්නට කඩිසර වෙන අන් ආගමික තරුණ තරුණියන්ය. තවත් තැනෙක හිමි නමක් පෙරටු කර ගෙන සාකච්චාවක යෙදෙන පිරිසක්ය. මේ වන විට ගාලු මුවදොර අරගල බිම මෙතෙක් මුළු මහත් ලංකාවේම නොතිබූ තරමේ සංස්කෘතික සහජීවන භූමියක් වී හමාරය. වැදගත්ම කරුණ නම් මෙය සැලසුම් කල අයෙක් නැත. නායකයෙක් නැත. සියල්ල තමන්ට රිසි ලෙස නොව සියල්ලට යහපත් වන ලෙස සිදු කරන ජනයාය.
අරගලකාර පප්පන්ට ආහාර හිගයක් නැත. ඔවුන්ගේ බඩ කට පුරවන්නට සැදී පැහැදී සිටින තවත් සිය ගණනක පප්පන්ය. සනීපාරක්ෂක පහසුකම් ඉස්තරම්ය. රාත්‍රිය ගෙවන්නට සෙවන දෙන කුඩාරම්ය. නිදන්නට මෙට්ටය. සුළු සුළු අසනීප වලට ඖෂධය. රජයේ අණ පිට හිඳින පොලීසියට හමුදාවටද කෑම බීම පිරිනමති. සැප දුක් විමසති. සෙල්ෆි ගසති. සියල්ලෝ එකිනෙකාට උදව් කරති. රැකවරණය දෙති. ප්‍රේමයම පමණක් වපුරති. සාම්ප්‍රධායික අරගලය වෙනස්ම මානයකට ගෙන යති. ගී ගයති. නටති. කෑ ගසති. කට හැකර පප්පන් කුණු හරුපද එක දෙක කියති. අවසානයේ අරගලය පුරා ආදරයම තවරති.

පටන් ගත්තේ කොතනකින් උවද මේ අරගලය අවසන් වන්නේ ජනාධිපති වරයා ධූරයෙන් පහ කිරීමෙන් හා රටට යහපත් ප්‍රතිපත්ති සම්පාධනයෙන් පමණි. මෙවර නැගිට ඇත්තේ නිවට යයි කියූ ශ්‍රී ලංකා ජාතියය. අරගලයට පණ පොවන්නේ ඒ ශ්‍රී ලාංකීය තරුණ පිරිසය. ඉතින් මොවුන් මග නැවතීමක් හඳුනන්නේ හෝ නැත. මක් නිසාද යත් නැගිට ඇත්තේ මේ රටට ආදරේ පිරිසය. ඉතින් ඉර හඳ මෙන් අරගලය ජය ගනු ස්ථීරය.

අපි හැදෙනවා
රට හදනවා
ඒක ඇත්තමයි

#GoHomeGota2022