දැන් නම් මේක ඉන්න හිතෙන රටක්

දිනුෂ විතාරම

දැන් නම් ඉන්න හිතෙන රටක් හැදීගෙන එනවා…

මේ රටේ ජනතාව තමන්ට හිමි පරමාධිපත්‍ය බලය ගැන හිතන්න පටන් අරගෙන තියෙනවා. මෙතෙක් කල් වසර දෙදහස් ගණනක අතීතයෙ අභිමානය එක්ක “වංසෙ කබල් ගාපු” අපි අපේ රටේ අඳුරු වර්තමානයෙන් පැහැබර අනාගතයකට යා යුතු ම යි කියන තැනට ඇවිත්.

හැම දියුණු රටක්ම මේ වගේ අමාරුම කාලයක් පහු කරල තියෙනවා. ඒ අසීරු කාලයෙ තමන් විඳපු දුක්, කරපු කැප කිරීම්, ඒ අමාරුකම් වලින් ගොඩඑද්දි නොදැනීම තමන් තුළ ගොඩනැගුණු ශක්තීන් ගැන ඒ රටවල වැඩිහිටියො අදටත් හරිම තෘප්තියකින් කතා කරනවා.

නමුත් ඒ එක්කම ඇහෙනවා අලුත් පරම්පරාව ඒ තරම් ශක්තිමත් නැති බව. රටක විතරක් නෙවෙයි සීයලගෙ පරම්පරාව දුක්විඳල ගොඩනගපු ව්‍යාපාර මුණුබුරන්ගෙ පරම්පරාවට එද්දි දියාරු වෙලා යනව අපි කවුරුත් දැකල තියෙනවා.

මේ නිසා තිරසර අනාගතයකට ශක්තිමත් පදනමක් යොදන්න නම් හොඳ ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යමයි. අධ්‍යාපනය ඇතුළු සියලුම සමාජීය ව්‍යූහයන් ප්‍රතිසංස්කරණය කෙරෙන වැඩසටහනක් ගැන හංදියක් හංදියක් ගානේ, බස් හෝල්ට් එකක් ගානේ, බෝක්කු උඩ තරුණ තරුණියො කතා වෙන්න ඕනි. පසුගිය සියවසට කලින් සියවසේ අගභායෙදි යුරෝපයේ තරුණ තරුණියො හංදිවල කතා වුනේ නව සොයා ගැනීම් ගැනලු. විෂයයන් පිළිබඳ ප්‍රාමාණික දැනුම තියෙන උදවිය බැරල් වගේ ඒවයෙ උඩ නැගල දේශන තියද්දි අලුත් දැනුම ලබන්න තරුණ තරුණියො එකතු වුනාලු.

අන්න එහෙම දේවල් ආකල්පමය විප්ලවයකට හරි වැදගත් වෙයි. බැරල් උඩ නැගල හංදිවල දේශන නොතිබ්බට සූම්, ටීම්ස් වගේ යෙදවුම් වලින් අපිටත් ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි.

කිසිම සංවිධායකයෙක් නැතිව ගොඩනැගිලා තියෙන තරුණ නැගිටීම අවභාවිත වෙන්න නොදී දැක්මක් අපේ සංස්කෘතිය ඇතුළේ ගොඩනැගිල පෝෂණය වුන දැක්මක් තියෙන නායකත්වයක් වටේ එකතු වීම අවශ්‍යයි.

ඒ හැම දෙයක්ම කරන්න නම් ආසන්නතම උගුලෙන් ගැලවෙමු. නැවතත් අපේ රට මානව ශිෂ්ටාචාරය ඒකාලෝක කළ හැකි ශ්‍රේෂ්ඨයන්ගේ පාරාදීසයක් කරමු.

#GoHomeGota2022