ගෝල්ෆේස් අරගලයේ කුලුදුල් දවස❤️

Himaya karunanayaka

inbound6365183198839997486.jpg

පෙරේදා උදේ 8 ට විතර මායි ටිරයි බස් එකේ නැග්ගා.. අපි කලු ඇදගෙන බෝඩ් අතට අරන් හිටියේ.. බස් එකේ කොන්දොස්තර අයියා මගේ ලගට ඇවිත් මුලින්ම සල්ලි ඉල්ලන්නෙ නැතුව කවදාවත් නැති විදියට හරි ලස්සනට හිනා වෙලා.. ” මිස් අරගලයට ද යන්නෙ” ඇහුවා.. මටත් පුදුමයි.. මෙච්චර ගරුත්වයකින්.. ආදරයකින් මට කොන්දොස්තර අයියෙක් කතා කලාමයි.. එයාට උත්තර දීලා ටිකටුත් අරන් ටිකක් දුර යනකොට තව කලු ඇද ගත්ත අක්ක කෙනෙක්

“නන්ගි අරගලයට ද යන්නෙ..”
“ඔව් අක්කේ..”
“මාත් මේ යන ගමන් නන්ගි.. ”
“කොටුවද යන්නෙ කෙලින්ම ”
“නෑ නන්ගි.. නුගේගොඩින් මගේ හලාවත ඉදන් එන යාලුවෙක් ඉන්නවා.. එයාවත් සෙට් කරන් එන්නම්”

ඒ අක්කා බැහැලා ගියා.. ඔහොම කොටුවට එනකම් මායි ටිරයි කතාවක් දාගෙන ආවා.. කොටුවෙන් 100 බස් එකේ නැග්ගම මට එතනදිත් අක්කෙක් සෙට් වෙනවා.. එයා එන්නේ මහ වැව ඉදන්.. ඇත්තටම මහ වැව තියෙන්නෙ කොයි හරියෙද කියලා මන් දැන ගත්තෙත් එයාගෙන්..

” අක්කා තනියමද”
“නෑ නන්ගි.. මගේ තව යාලුවෙක් එනවා.. එයා නම් මේ ලග බෝඩ් වෙලා ඉන්නෙ.. ”
“අක්ක ආවා කියලා ගෙදරින් දන්නවනේ..”
” හස්බන්ඩ් විතරයි දන්නෙ.. අම්මලා දැන ගත්තොත් මරයි..😂”
“අද අපිට ගහයි දන්නෙ නෑනේ..”
” දෙයියෝ තමයි දන්නේ නන්ගි ”
“ඔන්න ඔහෙ ඕන එකක් වෙන්න ඉදලා බලමු නේ”

කතාවෙන් කතාව ගෝල්ෆේස් එක ගාවටම ආවා.. බහින්න කිට්ටු වෙලා ටිරා කොන්දොස්තර අයියට සල්ලි දෙන්න හදනකොටම.. පිටිපස්සෙ හිටපු මහත්මයෙක් ” ඔයාලා අරගලයට නේ යන්නෙ.. ඉන්න ඉන්න මන් ඔයලට සල්ලි ගන්නම්” කියලා අපිට බහින්න කිව්වා.. මට ඒ වෙලාවෙ නම් අපේ රටේ මිනිස්සු ගැන පුදුම ආඩම්බරයක් ආවා.. එයාලට එන්න බැරි උනත් තමන්ගේ යුතුකම බොක්කෙන්ම ඉටු කරන මිනිස්සු !

කොහොම හරි අර හම්බුන අක්කයි මායි ටිරයි කදයක් දාගෙන ඇවිදගෙන ඇවිත් අරගලය භුමියට ආවා.. මිනිස්සු 50 ක් වත් නෑ වෙලාව 8.40 වගේ.. මිනිස්සු එකතු වෙනකම් අපි පැත්තකට වෙලා කියෝ කියෝ හිටියා.. ඔය අතරෙ වයස 63 ක විතර ආන්ටි කෙනෙක් හම්බුනා.. කිසිම අඩුපාඩුවක් පේන්න නම් තිබ්බේ නෑ ඒ ආන්ටිට.. බොහොම සල්ලි තියෙන පාටයි..මන් දැක්කා එයා ටිකක් උමනාවෙන් මන් දිහා බලනවා.. එතකොට මායි ටිරයි ඩයට් ප්ලෑන් ගැන කතා කර කර හිටිය… “මොක්කක්ද දුව ඒ ඩයට් එක” කතාව පටන් ගත්තේ එහෙම.. හොදම හොද පවුලක ඉහෙන් බහින අහේනියක් නැති වැදගත් ආන්ටි කෙනෙක්.. ඇත්තටම මේ මිනිස්සු මේ පෙනි හිටින්නේ රටේ දුප්පතුන් වෙනුවෙන් නේද කියලා හිතුනා මට..

“ඉතින් ආන්ටි… ආන්ටි ඉන්නෙ මේ ලගද..”
“ඔව් දුව මේ කිට්ටුව.. මෙතන ඉදන් විනාඩි දහයේ දුර..”

එයත් එක්කත් සෑහෙන්න කතා කලා.. බර අඩු කරගන්න එකේ ඉදන් හැමදේම ගැන..කිසිම අහන්කාර කමක් නැති හොද මනුස්සයෙක්.. දැන් දැන් අරගලේ පටන් ගන්න ෆුල් සුදානම.. ෆොටෝ දෙක තුනක් ගහලා අපිත් අරගලේ පටන් ගත්තා.. මුලදි නම් දෙසීයක් තුන්සීයක් හිටියේ.. ඒත් හිතා ගන්න බැරි වේගෙන් මිනිස්සු වැඩි උනා..ඔය අතරේ අපේ මල්කියත් ඔතනට ආවා.. අපි මහ හයියෙන් කෑ ගහ ගහ අපේ විරෝධය ප්‍රකාශ කලා.. ඔතනදි කෑගහන්න ගිහින් අයියල දෙන්නෙක් සෙට් උනා.. සුපිරි පොරවල් දෙකක්.. අරවා මේව නෑ උන් දෙන්නා.. බොක්කෙන්ම අරගලයේ..කෑගහලා කෑගහලා මහන්සියට අපි උදේට කන්න පොඩ්ඩක් පිටි පස්සට ආවා..

“අයියලා කොහෙද ”
“මම නම් අයියා.. මූ නම් මල්ලි.. මේ යකා 2003!”
“සිරාවටම.. අනේ සොරි මල්ලි.. ඉතින් ඔයාලා කොහෙ ඉදන් ද ආවෙ”
“අපි නම් නන්ගි පුත්තලමේ ඉදන්..” (අයියා උත්තර දුන්නේ)
“හම්මෝ හෙන දුර නේ.. එහෙ ඉදන් මෙහෙ ආවද..”
” නෑවිත් කොහොමද නන්ගි රට වෙනුවෙන් නේ”

ඔහොම ටිකක් වෙලා ඉදලා අපි ආයෙත් වැඩේට බැස්සා.. එතනදි නන්ගිල දෙන්නෙක් හිටිය අපේ ලගටම වෙලා.. මාව අවුරුදු ගානක ඉදන් දන්නවා වගේ.. අපේ ඉස්කොලෙ ද මන්ද.. අහන්නත් බෑ.. මූණත් දැකලා පුරුදුයි වගේ..

“නන්ගි දුර ඉදන් ද ආවේ..”
“ඔව් අක්කෙ අපි මීගමුවේ ඉදන්..”
“යකෝ.. එච්චර දුර ඉදන්.. අනික ගෑනු ලමයි දෙන්නෙක් නේ.. ගෙදරින් එව්වද කෙල්ලේ”
” පිස්සුද අක්කෙ සෑහෙන්න ගේමක් දුන්නා ගෙදරින් පැනගන්න..”
“ඔව් ඔයි අපිත් ගෙදර අරගලය කරලා තමයි මේ අරගලයට ආවෙ😂 ”
“අපි ඔක්කොම එක බෝට්ටුවෙ අක්කේ බලන් ගියාම😂”
“ඉතින් නන්ගි ඔයලා ඉස්කොලෙ යනවද තාම”
” මන් නම් ජොබ් එකක් කරනවා.. ඇත්තම කතාව කිව්වොත් මන් රජයේ සේවකයෙක්.. මෙයා නම් ඉස්කොලෙ යනව තාම”

කතාවෙන් කතාව අපි හොද යාලුවෝ උනා.. මේ ඔක්කොම වෙන්නෙ.. මහ සද්දෙට අරගල කරන ගමන්.. තාම එකට වත් නෑ.. අපි මහ අව්වෙ අමු කට්ටෙ.. වෙනදට නම් එලි බහින්නෙ නෑ කලු වෙන නිසා.. ඒත් අද තියෙන ගැම්මට කලු වෙන කතා මතකත් නෑ.. ඔය අතරෙ හෝ ගාලා කොල බෙදනව.. අම්මටසිරි පට්ට සටන් පාඨ ටික.. කට්ටියට කොල මදි කියලා සැලුනේ නෑ ගත්තා ෆෝන් ටික ටින් ටින් ගාලා ෆොටෝ ගහගත්ත පණ යනකම් කෑගැහුවා.. එවෙලේ ඇටි කිච්චන් පොඩි එකෙක් ඇවිත් “අරගලයට ජය වේවා” කියලා ෆුල් මොරාල් පිට කට්ටිය ලීඩ් කලා..උප නූපන් අපේ දරුවන්ටත් ජය වෙවා කියලා මේ පොඩි මල්ලි කෑගැහුවා.. කොල්ලගෙ වැඩේ ඉවර වෙනකම් ඉදලා මන් හිමින් සැරේ

” මල්ලි ඉපදුනේ 2002 ද ”
“පිස්සුද අක්කෙ මන් 2005 ”

මගේ ඇස් වලට කදුලු ආවා.. ඇත්තටම මේ දේශ පාලුවෝ දරුවෝ හදන්නවත් හිතලා නැති පොඩි එවුන්වත් මේ තත්වෙට පත් කලානේ කියලා හිතෙද්දි මේක ලියන තත්පරෙත් මට පට්ට කේන්තියි…

කොහොම හරි ඔතන මගේ එහා පැත්තෙ.. ඔලුව ලස්සන දුහුල් සලුවකින් වහ ගත්ත ලස්සන ටැමිල් අක්කෙක් හිටියා.. එයා නහයට කරාබුවක් එහෙම දාලා රතු ලිප්ස්ටික් ගාලා හිටියේ..

“නන්ගි දෙමල දන්නවද..”
“අනේ නෑනේ අක්කේ..”
” අවුලක් නෑ.. කල්ලන් කල්ලන් ගෝඨා කල්ලන් කියන්නකො..”

අඩුම තරමේ මන් තේරුම වත් ඇහුවෙ නෑ කියලා දැම්මා.. එච්චර විශ්වාසයක් අපි අතරෙ ගොඩ නැගිලා තිබ්බා.. තමන්ගේ පුලුවන් උපරිමයෙන් ම ඒ අක්කත් මේ විරෝධතාවට එකතු උනා.. කල්ලන් කල්ලන් ගෝඨා කල්ලන් කියලා හුස්මක් ගන්න ගියෙ නෑ අර පුත්තලමේ අයියා කියනවා.. “ගෝඨා පෝඩා වීටකු පෝඩා ” කියමු කියලා.. ඔන්න ඒකත් කිව්වා.. මන් එච්චර හයියෙන් විශ්වාසයෙන් දෙමලෙන් කෑගැහුවමයි..

දැන් නම් උගුර ලේ රහයි.. එහා පැත්තේ සුදු පාට තොප්පියක් දාගත්ත මුස්ලිම් අයියා කෙනෙක් හිටියා..

“අහ් නන්ගි මහන්සිත් ඇතිනේ.. වතුර ටිකක් බීලම කෑගහන්න.. මේ ඒක නෙවෙයි.. මන් ආසම ඔයාගෙ කපුටු කාක් කාක් කියන විදියට අප්පා.. ඒක මරු”
මට හිනා මැරෙන්න..

දැන් ඒ දවස ඉවර වෙලා දවස් දෙකකට කිට්ටුයි.. ඒත් එදා මන් වින්ද අත්දැකීමේ සතුට මන් තාම විදිනවා.. අපේ රටේ සින්හල දෙමල මුස්ලිම් කියලා ජාති තුනට අමතරව.. අපි දකුනේ.. අපි කොලඹ හතේ.. යන විදියට රට කෑලි කෑලි වලට බෙදිලා තිබුනේ.. එකාට එකා නෑ.. කා ගන්නවා.. ඒත් මේ අරගලේ තිබ්බ එකමුතුකම.. කියන්න වචන නෑ..
ඇත්ත! ගෝඨා උඹ ෆේල්.. ඒත් මේ අරගලයෙන් පස්සෙ උඹ හොදටම ෆේල්!! සින්හල දෙමල මුස්ලිම් ඔක්කොම අද එකම කොඩියක් යට රට වෙනුවෙන් කෑගනවා..එකා වගේ එකිනෙකාට උදව් කර ගන්නවා.. එක අම්මගේ ලමයි වගේ මේ දැනුත් සටන සාර්ථකව කරගෙන යනවා.. ඇත්තටම අපි රටක් විදියට සෑහෙන්න දේවල් දිනලා ඉවරයි.. අපිව බෙදලා වෙන් කරන්න හදපු උඹලට මීටත් වඩා පරාජයක් තියෙනවා ද???

අරගලයට ජය ❤️🇱🇰
#GoHomeGota2022

♡ හිමායා කරුණානායක ♡