අලුත් පරම්පරාවට අලුත් රටක්

Akila Cabral

inbound1490043874611877304 inbound1490043874611877304.jpg

අලුත් පරම්පරාවට අලුත් රටක් !

ආදරය අරන් අරගලය වෙනුවෙන් ගාලුමුවදොර පිටියට දෙවෙනි වතාවට ගියේ ඊයේ හවස. අපි හය දෙනෙක් ගියා. අපි යද්දි උදේ ඉඳන් එතන ඉඳපු පිරිසක් එනවා. මීට කලින් මුණ නොගැසී තිබුණත් අපිව දැක්ක ගමන් සතුටෙන් හිනා වුන ඔවුන් “අපි යනවා දැන් ආයේ හෙට එනවා. එතකම් අල්ලන් ඉඳපන් මල්ලි ! ” කියලා උරහිසට තට්ටුවක් දාලා ගියා. අපි ඉස්සරහට ඇවිදන් යද්දි අරගලකරුවන්ගේ හඬත් ඊටත් හය්යෙන් වාහන නලා හඬත් ඇහුනා. මරු. වාහන නලා හඬෙන් ඇහෙන්නෙත් අමන පාලකයන් උපහාසයට ගන්න සටන් පාඨයක රිද්මය. සිංහ ධජ තියන වාහන. පීඩිත පන්තිය වෙනුවෙන් සටන් පාඨ ලියවුන අධි සුඛෝපභෝගි වාහන. මේක වෙනම ලෙවල් එකේ විරෝධය පෑමක්. ඈතින් පේන අරගල භූමියේ මිනිස් හිස් වලට කළු කොඩි. ඊටත් උඩින් සිංහ ධජ. ජනතාව එක්ක මුහු වෙන්න යද්දිම කෙනෙක් වතුර බෝතල් බෙදනවා. පාගමනින් ටික දුරක් ආව නිසා උගුරට දෙකට වතුර බෝතලේ හිස් කරල ටික වෙලාවක් ගියාම තව කෙනෙක් එනවා ලොකු බෑග් එකක් අරන් විසික් කරන දේවල් තියෙනවානම් දාන්න කියල. මං හිස් වතුර බෝතලේ දැම්ම. මෙතන ඉන්න මිනිස්සු වෙනස්. මුන් උද්ඝෝෂණය කරන්නේ ආවෙගට වඩා ආදරෙන්. අපි අරන් ගියපු සටන් පාඨ ඔලුවට උඩින් උස්සන් මෙගාෆෝන් එකෙන් ඇහෙන සද්දෙකට කෑ ගහන්න පටන් ගත්තා. සිංහ කොඩිය වනන්න පටන් ගත්ත. අපි ළඟ හිටිය මිනිස්සු අපිත් එක්කම කෑගැහුවා. තව කණඩයම් වෙන සටන් පාඨ කියලා මිනිස් පොකුරු පොකුරු එකම මල් වට්ටියක කෑ ගහනවා. පාරේ යන වාහනවලින් හෝර්න් එකකින් හරි සහයෝගය ලබා දෙනවා. උගුර ලේ රහ වුනාම තව කෙනෙක් තේ අරන් එනවා. තව කෙනෙක් පාන් , බනිස් , රෝල්ස් අරන් එනවා. ඊටත් පස්සෙ යොර්ගට් අරන් එනවා. පොඩි විවේකයකින් පස්සේ ආයේ කෑගහනවා. සුදු තොප්පි දාන් ඉන්න අය පිරිත් නූල් බැඳන් ඉන්න අයව බදා ගන්නවා. කුරුස දාන් ඉන්න අය ඔලුව වහන් ඉන්න අයට වතුර දෙනවා. පොඩි පැටව් ලොකු දැනුමක් නැතිව උනත් දන්න විදිහට කෑ ගහනව. වයසක අම්මලා තාත්තලා අත්පුඩි ගහනවා.

මේ දියුණු ශිෂ්ඨාචාරයක මිනිස්සු. ඈත ඉඳන් මිනිස්සුන්ගේ එකමුතුව දිහා පොඩ්ඩක් බලන් හිටියම ඇස් දෙකට කඳුලු උනනවා. වියලිලා ගිය දර කෝටු නවන්න බෑ. ඒත් මේ නැවුම් අතු රිකිලි ඉර එලිය හොයා ගෙන ඇදී යනවා.

වයෝවෘද්ධ දූෂිත බලලෝභීන් සූර ගෙන කාපු රටේ ඉඳන් මේ පුරවැසියෝ ඉල්ලන්නේ අලුත් පරම්පරාවට අලුත් රටක් 🇱🇰 ❤

අකිල කබ්රාල්