අරගලයේ සැබෑ අරමුණ

හසන්ත දිසානායක

inbound7010186199827902688.jpg

මේ මොහොතේ අපගේ රට පවතින දූෂිත රාජපක්ෂ පාලනයෙන් ගලවාගැනීමේ ජන අරගලයේ දී අප අවධානය යොමු කළ යුතු මූලික කරුණු දෙකක් ඇත. පළමුවැන්න මෙම සමස්ත ජන අරගලයේ අපගේ අරමුණ කුමක්ද යන්නයි. දෙවැන්න මෙම ජන අරගලය තුළ සැබෑ අරගලකරුවා කඩාකප්පල්කරුවාගෙන් වෙන් කර හඳුනාගන්නේ කෙසේද යන්නයි.

එහි පළමුවැන්න වන මෙම ජන අරගලයේ අරමුණ කුමක්ද යන්න මෙසේ විග්‍රහ කර ගත හැක,
1. රාජපක්ෂ පවුල ප්‍රමුඛ ආණ්ඩුව බලයෙන් පහ කිරීම සහ ඔවුන් මුළුමනින්ම අතු ගා දැමීම.
2. ජාතික මට්ටමේ සියළු දේශපාලනඥයන්ගේ වත්කම් පිළිබඳ විගණනයක් සිදු කිරීමට හා වංචනික ලෙස උපයාගත් මහජන මුදල් නැවත ලබාගැනීමට බලපෑම් කිරීම.
3. ⁣ඒ සියල්ලෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කිරීම හා පවතින ක්‍රමය වෙනස් කිරීමට මුල පිරීම.

මේ වනවිට ස්වාධීන පොදු ජනතාව විසින් සිදු කරනු ලබන මේ ජන අරගලයේ මූලික අරමුණු මේවා ය. මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමෙහිලා සුවිශාල වෙහෙසක් පරිශ්‍රමයක් දැරීමට සිදු වන බව ද නො අනුමාන ය. අනෙක් අතට බැලූ බැල්මට මේ අරමුණු කිසිවක් ප්‍රායෝගික නො වන අරමුණු ලෙස පෙනීම සහ දැනීම නිසා තවමත් රාජපක්ෂ වහලුන්ගේ ප්‍රකාශ හමුවේ ඇතැම් ජනතාව මේවා කළ නොහැකි දේවල් ලෙස සිතමින් පසුබට වී සිටින බවක් ද පෙනෙයි. එහෙත් සැබැවින්ම මේ කිසිදු අරමුණක් කළ නොහැකි ආකාරයේ දේවල් නො වේ. මේ සියල්ල සිදු කිරීමට නම් පළමුවෙන්ම කළ යුත්තේ මේ මොහොත වනවිට සිටින අන්ත දූෂිත සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජපක්ෂ ආණ්ඩුව පළවා හැර මේ වනවිට සිටින දූෂිත දේශපාලන බලය හීන කිරීමයි.

පළමුව රාජපක්ෂලා ⁣ප්‍රමුඛ ආණ්ඩුව පෙරළීමෙන් පසු දේශපාලන බලය සහ නීති සම්පාදනය ව්‍යවස්ථාදායකයට පැවරිය යුතු ය. ඉන්පසු නීතිය ක්‍රියාත්මක කිරීම සහ පසිඳලීමේ පූර්ණ අයිතිය හා ස්වාධීනත්වය අධිකරණයට ලබා දිය යුතුයි. මේ වනවිට අධිකරණයට තිබෙන දේශපාලන ඇඟිලි ගැසීම් සියල්ල අවසන් විය යුතු ය. මේ සියල්ල සිදු වීමට නම් මෙම අරමුණු අතරින් පළමුවැන්න සිදු කළ යුතු ය. එනයින් පොදු මහාජනතාව ලෙස පළමුවෙන් කළ යුත්තේ මෙහි පළමුවැන්නයි, ඉන්පසු දෙවැන්න සහ තුන්වැන්න ⁣නිරායාසයෙන්ම සිදු වීමට මාර්ගය විවර වනු ඇත. එහෙත් පළමුවැන්න ජය ගැනීමෙන් පසු ජනතාවට පසෙකට වී සිටිය නොහැක. මෙම අරමුණු තුනම සාක්ෂාත් වනතුරුම මෙම සටනේ, අරගලයේ නියැලීමට සිදු වනු ඇත.

ඉන්පසු මේ ජන අරගලයේ නියැලී සිටින ⁣අප අවධානය යොමු කළ යුතු දෙවැනි කාරණාව වන්නේ මෙම ජන අරගලය තුළ සැබෑ අරගලකරුවා කඩාකප්පල්කරුවාගෙන් වෙන් කර හඳුනාගන්නේ කෙසේද යන්නයි. මෙය ඉතා වැදගත් කාරණාවකි. මන්ද යත් අරගලයක කඩාකප්පල්කරුවන් වැඩි වැඩියෙන් සිටීම යනු ඉහත කිසිදු අරමුණක් සාක්ෂාත් කරගැනීමට නොහැකි වීමට ප්‍රධානතම හේතුව එය වන බැවිනි.

සැබෑ ජන අරගලකරුවාගෙන් කඩාකප්පල්කරුවන් වෙන් කර හඳුනාගන්නේ කෙසේද?
1. ඔවුන් මේ සැබෑ අරමුණු සියල්ල යටපත් වන ආකාරයේ වෙනත් අදාළ නොවන දේවල් පවසයි, ෆේස්බුක් තුළ පළ කරයි, පතුරුවයි. උදාහරණ ලෙස ඔවුන් පොලිසිය සහ හමුදාව පිළිබඳ අනේකවිධ දේවල් පවසමින් පොලිසිය සහ හමුදාව පිළිබඳ තරහක්⁣ වෛරයක් අරගලකරුවන් තුළ තැන්පත් කරයි. එසේම මෙම ජන අරගලයට කිසිසේත්ම අදාළ නො වන මෝඩ චූන් දෙයක් හෝ වෙනත් මේ කතාව යට ගැසිය හැකි දේවල් පවසමින් ඒවා පතුරුවයි. මෙවැනි අයගෙන් ප්‍රවේශම් විය යුතු ය.
2. කිසිසේත්ම මේ සැබෑ ජන අරගලයේ සිටින කිසිවෙකු කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කිරීමට නො පෙළඹෙන බව දැන් පැහැදිලි ය. ඒ අනුව යම් අයෙකු ගල් කැටයක් හෝ බෝතලයක් හෝ ගෙන පොලිසිය, හමුදාව දෙසට හෝ දේශපාලකයන්ගේ නිවෙස් දෙසට ගසයිද, ඔවුන් මේ සැබෑ අරගලයේ කොටස්කරුවන් නො වෙති. ⁣එමෙන්ම යමෙක් පොලිසිය, හමුදාව කුපිත වන ලෙස පරුශ වචන කියමින් බැණ වදිමින් කළහාකරී ලෙස හැසිරෙයිද, ඔහු ද සැබෑ ජන අරගලකරුවෙක් නො ⁣වේ. එසේ කරන සියල්ලෝ කඩාකප්පල්කාරීන් ලෙස අපට හඳුනාගැනීමට සිදු⁣ වෙයි. ඇතැම් විට සැබෑ අරගලකරුවෙක් මෙලෙස හැසිරුණ ද ඔහුව කඩකප්පල්කාරීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට සිදු වන්නේ මේ මොහොත වනවිට පවතින සැබෑ ජන අරගලය තුළ මෙය නොමැති බැවිනි. (අවසානයේ පොදු ජන එකඟතාවයකින් ප්‍රචණ්ඩකාරී ලෙස දේශපාලකයන්ට පහර දිය යුතු යැයි මතයක් ගොඩ නැගී එය ක්‍රියාත්මක වන පසුබිමක් පැන නැගුනහොත් මෙය වෙනස් වේ, ඒ අරගලයක් ඕනෑම මොහොතක එහි පවතින තත්ත්වය අනුව වෙනස් විය හැකි බැවිනි.)
3. මෙම ජන අරගලයන් නිසා අනාගතයේ සිදු වීමට නියමිත අනිසි ප්‍රතිඵල පිළිබඳ පවසමින් ජනතාව බිය වද්දන, සංචාරක කර්මාන්තය සහ රටේ ආර්ථිකය ඉදිරියේ දී මේ ජන අරගල නිසා තවදුරටත් කඩා වැටී රටට විශාල හානිදායක තත්ත්වයන් ඇති වෙතැයි කරුණු පහදා දෙමින් අරගලයේ නියුතු ජනතාව අධෛර්යයමත් කරන සියළු දෙනා ද මෙකී ජන අරගලයේ කඩාකප්පල්කරුවාගේ භූමිකාව නිරූපණය කරන්නෙකි. එසේම මෙවැනි ජන අරගල ප්‍රායෝගික නො වන නිශ්ඵල ක්‍රියාවක් ලෙස අර්ථ දක්වන අය ද එවැනි පුද්ගලයන් ය.

මේ පහතින් තියෙන්නේ එවැන්නෙකුගේ කමෙන්ටුවකි,
//ඇයි මේ ඔයාලට ඕනෙ පටු දේශපාලන වාසි තකා අපේ රට නැවතත් ජාත්‍යන්තරව අපහාසයට පත් කරන්නද ? ගෝඨාබය රාජපක්ශට ගෙදර යන්න කයන්න පැහැදිලි හේතුව සදහන් කරන්න එයට එන පුශ්න හමුවේ පිලිතුරැ දෙන්න, කා වෙනුවෙන්ද ඔයා මේ දගලන්නේ මේ අපි හැමෝගෙම රට නමුත් මේ ගැන කතා කරන්න අපිට වැඩි අයිතියක් තියෙනවා//

ඒ අනුව මේ ජන අරගලය එතරම් සුව පහසු ජන අරගලයක් නො වේ, මෙය විශාල අභියෝගයකි. මේ ජන අරගලය ජයගැනීමට නම් මෙම ජන අරගලයේ සැබෑ අරමුණු අප සිහි තබා ගත යුතු අතර අපගේ සටන් පාඨ අතරට ඒවා රැගෙන ආ යුතු ය. අනවශ්‍ය මෝඩ විහිළු ඇතුළත් සටන් පාඨ වෙනුවට අපගේ මෙම අරමුණු පදනම් කරගත් සටන් පාඨ පෙරට රැගෙන ආ යුතු ය. එසේම සැබෑ ජන අරගලකරුවන්ගෙන් කඩාකප්පල්කරුවන් වෙන් කර හඳුනාගනිමින් ඔවුන්ව ප්‍රතික්ෂේප කළ යුතු ය. ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතු ය, ඔවුන් ව අරගලයෙන් ඈත් කර ජන අරගලයේ සැබෑ වටිනාකම රැකගැනීමට සියළු දෙනා සිහි තබා ගත යුතු ය. මෙය කිසිදු පක්ෂයක හෝ බලපෑම් කණ්ඩායමක අරගලයක් නො ව, මෙය ශුද්ධ ජන අරගලයකි. එම නිසා මේ ජන අරගලය ශුද්ධ ජන අරගලයක මුහුණුවරකින් ඉදිරියට පවත්වාගෙන යාමට අප දිගින් දිගට ම උත්සුක විය යුතු ය.

ජන අරගලයට ජය! 🇱🇰💪
#GoHomeGota2022