අරගලයෙන් පුනරුදයට!

Supun

159DC50B-0EBF-4C58-8CAE-2A90898C53FC.jpeg

අරගලයෙ මම කැමතිම part එක තමයි, අරගලයත් එක්ක එන සමාජ-සංකෘතික පුනරුදය!

පවතින හා පැවතුණු රජයයන් සියල්ලම පටු දේශපාලන වාසි තකා බොහොම දැනුවත්ව වගේම වුවමනාවෙන්ම අපිව ආගම්වාදීව ජාතිවාදීව භේද කරපු බව අපි දන්නවා. අපිට ඇරගන්න ඇරල අපිට ඇරපු වග අපි දන්නවා. අරූ දෙමළා, උඹ තම්බියා මම සිංහලයා කියල එකක් නෑ අපි ඔක්කොම එකයි කියල අපි දැන් දන්නවා. අපි හැමෝම එක වගේ Homo sapiens ලා මිසක් ඉපදෙනකොට ධර්මචක්‍රෙවත්, ත්‍රිශූලයවත්, කුරුසියවත්, අඩසඳ හා තරුවවත් ඇඟේ කොටාගෙන එන්නෙ නෑ කියල දැන් දන්නවා. ආගම් සේවය කරන්නෙ රාජ්යයේ පැවැත්ම උදෙසා මිසක් අපේ හිත සුව පිණිස නෙවෙයි කියන එක, හුදු ආගම්වාදී වටිනාකම් වලට වඩා දර්ශනය අවබෝධ කරගැනීම වැදගත් කියන එක අපි දැන් දන්නවා.

උන්ගෙ පොලිටිකල් ගේම් අපි දන්නවා. අරගල දියාරු කරන්න උත්සාහ කරන හැටි අපි දන්නවා. වීරයො මරන්න හදන හැටි අපි දන්නවා. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන තියෙනවා. රට ජාතිය කියල පපුවට ගහගත්තට, ආගමේ නාමයෙන් සිවුර උස්සන් ආවට, බත් පැකට් එකට, අරක්කු කාලට වෙන්දේසි නොවෙන සෘජු දේශපාලනික මතවාද දරන්න තරම් කොන්දක් අපිට තියෙනවා. වෙනස් මතවාද වලට කන් දෙන්න ඒ දිහා හැරිලා බලන්න කොන්දට උඩින් බෙල්ලක් තියෙනව. සංයමයක් තියෙනව. ඒ මතවාද ගේන මිනිස්සු අපිව ගොනාට අන්දන්න හදද්දි ඒකට අහු නොවී ඉන්න උන්ව ප්‍රතික්ෂේප කරන්න ඊටත් උඩින් ඔලුවක් තියෙනවා. පරමාධිපත්ය තියෙන්නෙ අපේ අතේ කියල අපි දැන් දන්නවා.

තැනකට ගිහින් හැසිරෙන්නෙ කෙසේවෙතත් වනසන්නෙ නැතුව එන්නෙ කොහොමද කියලා අපි දන්නවා. පාරවල් ගානෙ කුණු දාන්නෙ නැතුව ඉන්න දන්නව. රටේ පොදු දේපළ අප්පගෙ බූදලේ නෙවෙයි කියල අපි දන්නව. අපි පාවිච්චි කරන එක තව එකෙක් පාවිච්චි කරන්න ඕනෙ කියල අපි දන්නව.

මනුස්සයෙක්ගෙ personal space එකට ගරු කරන්න අපි දැන් දන්නවා. මනුස්සයෙක්ගෙ privacy එකට ගරු කරන්න අපි දන්නවා. අඩුම තරමෙ අනුන්ගෙ පෞද්ගලිකත්වයට එබෙන අපිට කලින් පරම්පරාවෙ බොහොමයකට වඩා අපි ඒක දන්නවා.

පාරක තොටක හිංසනයකට ප්‍රචණ්ඩත්වයකට විරුද්ධ වෙන්න අපි දන්නවා. පාරක තොටක සිපගැනීමක් කියන්නෙ අපරාධයක් නෙවෙයි කියල අපි දන්නව. අපිට හානියක් නොවෙන තාක් කල් තමන් කැමති ඕනෙම දෙයක් කිරීමට මනුස්සයෙක්ට අයිතිය සහ නිදහස තියෙන බව අපි දන්නවා. අපි අනිත් මිනිස්සු වෙනුවෙන් හදන නිදහස අපි වෙනුවෙනුත් ඉබේම හැදෙනව කියල අපි දන්නව.

බැරියර් එක ගාවට ගිහින් ‘තොපේ අම්මට’ කියල පටන්ගන්නව වෙනුවට තුවක්කු බටේ රෝස මලක් අමුණන්න අපි දන්නව. හැම බොඩි ආමර් එකකට යටින්ම ගැහෙන හදවතක් තියෙනව කියල අපි දන්නව. අපි උන් වෙනුවෙනුත් උන් අපි වෙනුවෙනුත් හිටගන්නව කියල අපි දන්නව.

රෝහලෙන් එලියට ආපු වෛද්යවරයත්, උසාවියෙන් එලියට බැහැපු නීතීඥ්යත්, දියවන්නාවෙන් එලියට ආපු ඇමතිවරයත්, ඉදල පැත්තකින් තියපු පාර අතුගාන මනුස්සයත්, හවසට ගෙදර ආවම පොලිස් නිලධාරියත් කිසිම වෙනසක් නැති අතිශයින් සාමාන්ය මිනිස්සු කියලා අපි දන්නවා. දැන් වැඩ ඇරුණම හවසට අරගලයෙදි හැමෝම මුණගැහෙන නිසා ඒක හොඳටම දන්නව. ඒ නිසා පට්ටම් වලට තට්ටම් පුද කරන්න, වඳින්න ඕනෙ නෑ කියලත් අපි දන්නව.

අවසානයට අපි ආදරේ කරන්න දන්නවා. අපේ දරුවට, අපේ අම්මට, අපේ නංගිට, අපේ කෙල්ලට විතරක් ආදරය කරන එක අඳුරක් කියල අපි දන්නවා. එක දරුවෙක්ගෙන්, එක අම්මෙක්ගෙන්, එක සහෝදරියකගෙන්, එක කෙල්ලෙක්ගෙන් පිරෙන්න තරම් තවදුරටත් අපේ හදවත් පුංචි නැහැ. අපි මහ විශාල හදවත් වලින් මේ මුළු සමාජයටම ආදරේ කරනවා.

අපේ දරුවට නිදහසේ එලියට බැහැල යන්න නම් නිරෝගී සමාජයක් හදන්න ඕනෙ කියල අපි දන්නව. ඉතින් නාමල් ජයසිංහ කිව්ව වගේ, අපි ආස කරන සමාජය අහසින් පාත් වෙනකම් බලන් ඉන්නෙ නැතුව අපි ඒක වෙනුවෙන් උත්සාහ කරනවා!

ඉතින් මේ තමයි අරගලයෙ ප්‍රතිඵල. මේ තමයි පුනරුදය. මේ තමයි සමාජ, සංස්කෘතික, දේශපාලන පුනරුදය!

මේ Generation එක පට්ට!
ඉතින් කිව්ව වගේම “අපි හැදෙනවා, රට හදනවා.. ඒක ඇත්තමයි”. ♥️

©Supun Chathuranga

(ඡායාරූප අයිතිය – Thilina Kaluthotage Photography)