අප්‍රියෙල් 9 සහ අපි

පූර්ණි

35F99C09-8B26-4E9E-8D8D-9748C339C7F0.jpeg

ඕනම ව්‍යාපාරික අදහසක් ගොඩ නැගෙන්නේ සමාජයේ ඇතිවන ප්‍රශ්නයක් හෝ සාමාන්‍ය ජන ජීවිතය කේන්ද්‍ර කරගෙන ගොඩ නැගෙන ප්‍රශ්නයක් නිසා.
Google හි CEO වන Sundar Pichai වරක් ප්‍රකාශ කරලා තිබුනා 2005 දී ඔහු Google Maps හොයාගන්නේ ඔහුට මුහුණ දෙන්න වෙච්ච ප්‍රශ්නයකට පිළියමක් විදිහට කියලා. ඔහුගේ භාර්‍යාව එක්තරා සාදයකට තනියම සහභාගි වෙනවා, මොහු ඇයට කියනවා රාජකාරි කටයුතු ඉවර වෙලා පැමිණෙන්නම් කියලා. නමුත් ඔහුට තැන හොයාගන්න අපහසු වෙලා අවසානයේ තැන හොයාගෙන එතනට යද්දී සාදයත් ඉවර වෙලා. ඉතින් බිරිඳගෙන් ඔහුට ලැබුණු ප්‍රතිචාරය ඔයාලට හිතාගන්න පුලුවන්. ඉතින් මේ සරල උදාහරණය මම සඳහන් කරේ කලින් මම කියපු විදිහට ව්‍යාපාරික අදහසක් ගොඩ නැගුණු විදිහ පැහැදිලි කරන්න.
හැබැයි දැන් මම ඔතනින් ඔබව ගේන්නෙ දේශපාලනය කියන මාතෘකාවට. ලාංකාව ගත්තොත් මේ රටේ තියෙන දේශපාලනයත් එක්තරා ආකාරයකින් ව්‍යාපාරයක්. ඉතින් මේකෙ ඉන්න ව්‍යාපාරිකයන්ට ඕන නිරන්තරයෙන්ම ව්‍යාපාරික අදහස් එන විදිහට වටපිටාව සකස් කරගන්න. මේකෙදි ඒ ව්‍යාපාරිකයෝ තමා දේශපාලඥයෝ! එයාලගේ පැවැත්ම තහවුරු කරගන්න අවශ්‍ය නම් සමාජයේ ප්‍රශ්න කියන දේවල් නිරන්තරයෙන්ම තියෙන්න ඕන. එකක් තමයි ඔවුන් බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ජනයා දුප්පතුන් වෙන එක. එතකොට තමයි ඔවුන්ට පුලුවන් ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයට පිරිස එක් රැස් කරගන්න. මේකෙදි මෙයාලා කියනවා රැකියා ලබා දෙන්නම්, පාරට තාර දාලා දෙන්නම් වැනි එකී මෙකී නොකී හැමදේම. හැබැයි ලබා දෙන්නේ නෑ. එහෙම ලබාදුන්නොත් ඔවුන් දන්නවා ඊළඟ ඡන්ද ව්‍යාපාරයේදී ඔය ලබාදෙන්නම් කියන දේවලුත් ඇතුලුව මුදල් අපේ අතේ තියෙනවා නම් අපිට ඔවුන් මත යැපෙන්න වෙන්නේ නෑ කියලා. සරලවම කියනවා නම් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා නම් තමා බලයට එන්න පුලුවන් කියලා ඔවුන් දන්නවා.
දෙවෙනි එක ජාතීන් සහ ආගම් අතර බේදය ඇති කරන එක. ඉන්නේ එකම රටක උනාට සිංහල, මුස්ලිම්, දෙමළ ඡන්ද කියලා ඔවුන් බෙදනවා. ඒ වගේම විවිධාකාර උපක්‍රම යොදනවා ජාතීන් අතර අසමගිය ඇති කරන්න. හොඳම උදාහරණ තමා බුදුපිළිම විනාශ කරපු සිද්ධිය, පාස්කු ප්‍රහාරය වගේ දේවල්. ඉතින් මේ කාරණා දෙකේදිම අද දවස ගොඩක් විශේෂයි. පළවෙනියෙන් මම සඳහන් කරපු බත් පැකට් එකට, පාරට දාලා දෙන්නම් කියපු තාර ටිකට මෙච්චරකල් කතිරෙ ගහපු මිනිස්සු අද නිර්පාක්ෂිකව එකම අරමුණක් වෙනුවෙන් ගාලුමුවදොර පිටියට එකතු වෙලා ඉන්න එක. දෙවෙනියට මම සඳහන් කරපු ජාතී සහ ආගම් බේදය පැත්තකට දාලා සියලුම ජාතීන් ආගම් වල අය අද එකට එකතු වෙලා තියෙන එක. ඒකට පහළ දැක්වෙන ඡායාරූප සාක්ෂි විදිහට ගන්න පුලුවන්. තව ආගමකට, ජාතියකට ගරු කරන්න ඕන කියලා පාසලේදී අපිට කියලා දෙනවා. හැබැයි සමාජයට ආවම සමහර අයගේ පටු අරමුණු අපිට වැරදි දේවල් පුරුදු කරනවා සහ අපිව නොමඟ යවනවා. ඉතින් අවුරුදු 74 ක් මේ දේවල් වලින් බැට කාලා, එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වල ඉත්තො වෙලා උන්න අපිට, මේ රට අපි ඔක්කොටම අයිතියි, ජන බලයට ඉහළින් යන්න පුලුවන් වෙන කිසිම බලයක් නෑ කියලා ඔප්පු කරන්න පුලුවන් වෙච්ච අද දවස ඓතිහාසික දවසක්!

ඡායාරූප වල අයිතිය මුල් හිමිකරුවන් සතු වේ.

✍️ – පූර්ණි
09/04/2022

#GoHomeGota22
#GoHomeGota
#gohomerajapaksas
#visabanforrajapaksas
#ArrestRajapakshas
#GiveUsOurStolenMoneyBack